Sunday, August 19, 2018

Yakkure Village (යකුන් හිටි යක්කුරේ)

 

                                                                     ඇසූ පමණින් කුතුහලයක් ඇතිවන යක්කුරේ පිහිටා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොණක.  විශාල කෙත් යායක් හා වනාන්තර පසුබිම් කරගත් තැනිතලාවක පිහිටි සුන්දර ගම්මානයක් වන යක්කුරේට දිඹුලාගල කන්ද රමණීය ලෙස පේනවා. මහවැලි ගඟ ගලාබසින්නේ ගමට නුදුරින්. හඳපාන් විල්ලුව නම් නිතර අලි ඇතුන් ගැවසෙන විශාල තෙත්බිම ගම ඉහත්තාවෙන් පැතිරී යන්නේ සොබා සුන්දරත්වය ඉහළ නංවමින්. ඉහළ යක්කුරේ හා පහළ යක්කුරේ නමින් ගම්මාන දෙකක් අද දක්නට පුළුවන්. නවීන නිවෙස් මෙන්ම වරිච්චි බිත්ති ගසා සැකසූ සාම්ප්‍රදායික වූ ද, ඉතා සරල වූ ද ගැමි ගෙවල් මෙහි පිහිටා තිබෙනවා. යක්කුරේට ළඟම ටවුම නුවරගල යි.  අද යක්කුරේ මහවැලි ගොවි ජනපදයක්. එය එක් පැත්තකින් වස්ගමුව ජාතික උද්‍යානයටත් අනෙක් පසින් ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයටත් මායිම් වෙලා තිබෙන්නේ. ගැමි ජන ජීවිතය දැකබලාගෙන විඳ ගැනීමටත්, පුරාණ නටබුන් නිරීක්ෂණයටත් කදිම ප්‍රදේශයක් විදිහට යක්කුරේ හැඳින්වීමට පුළුවන්.

 

යන්නේ මෙහෙමයි



                                               කොළඹ ඉඳන් පොළොන්නරුවට ගොස් (දුර කි. මී. 230) එහි සිට මනම්පිටිය දිඹුලාගල පසුකරමින් නුවරගලට පැමිණිය යුතු යි. නුවරගලින් හැරී අතුරු මාර්ගයක යාමෙන් යක්කුරේට ළඟාවීමට පුළුවන්. පොළොන්නරුවේ සිට යක්කුරේට දුර කි. මී. 50ක්.

 

පැරණි යක්කුරේ

                                                                             අද පුරාණ යක්කුරේ ගම්මානය අපට දැකගැනීමට ලැබෙන්නේ නැහැ. එදා ගමේ ජනාවාස තිබූ විශාල ප්‍රදේශයක් කෙත් යායක් බවට පත් වී තිබෙනවා. එහි තැනින් තැන ගමේ තිබූ විශාල ගස්, ගොඩනැඟිලි කොටස්  දැකගත හැකියි. පැරණි ගම මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉවත් කෙරුණා. ගමේ කොටසක් ද ඇතුළත් වන පරිදි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශ කළා. පාරම්පරික ගමේ ජනතාව නිජබිම්වලින් ඉවත්කර පහළ යක්කුරේ ගමේ පදිංචි කළා. ආරම්භයේ දී පවුල් 102ක් පදිංචි කර තිබෙනවා. ඊට අමතරම පඬුවස්නුවර, බදුල්ල ආදී ප්‍රදේශවල ජනතාවත් මෙහි පදිංචි කළ නිසා පාරම්පරික ගමක ස්වභාවය වෙනස්ව තිබෙනවා. අද ගමේ දකින්න ලැබෙන්නේ මිශ්‍ර ජනතාවක්.
පැරණි ගම බැලීමට නම් ගමට ආසන්න කුඹුරු යාය හරහා ගොස් අලි විදුලි වැට පැන ගමන් කළ යුතු යි. එවිට අද වනගතව පවතින පාසල් ගොඩනැගිලි, නිවෙස් ආදිය දැකගත හැකියි. පාසල ළඟින් පුරාණ යක්කුරේ වැවත් පිහිටා තිබෙනවා. අද එයත් වනසතුන්ට වෙන්වූ ජල තලයක්. ගැමියන් ඉඳහිට එහි මාළු අල්ලන්නටත් යනවා.


ඉතිහාසය

කුවේණියගේ දරු දෙදෙනා වන ජීවහත්ත හා දිසාලාගෙන් පැවැත එන යක්ෂ ගෝත්‍රයට අයත් පරපුරක් මේ ගම්මානයේ ජීවත් වූ බැවින් “යක්කුරය” ලෙසින් නම් වූ බව එක් ජනප්‍රවාදයක පැවසෙනවා. කඳු ශිඛර ආශි‍්‍රතව (යක්+ගිර+පුර) යකුන් සිටින බැවින් යක්ගිරිපුර පසුව යක්කුරේ වූ බවට ද විශ්වාසයක් පවතිනවා.මහාවංශයේ යක්කුරේ හඳුන්වන්නේ යක්ඛසූකර නමින්. යකෙක් වගේ සිටි ශක්තිමත් ඌරෙක් දඩයම් කිරීමට යාමේදී ඌ මහවැලි ගඟට වැටුණු බවත්, යක් ඌරා තොට යක්කුරේ වූ බවත් තවත් ජනකතාවක සඳහන් වෙනවා.  මහවැලිය හා මාදුරුඔය අතර ප්‍රදේශය අපේ ඉතිහාස පොත්වල සඳහන් වන්නේ අන්තර් ගංගා නමින්. යක්කුරේ ද ඒ කලාපයට අයත්. මහියංගනයේ සිට පොළොන්නරුව රාජධානියට වැටී තිබුණු පුරාණ පාර ගමන් කළේ යක්කුරේ හරහා යි.
                               යක්කුරේ ගම වටා තැනිතලාව බිඳගෙන ඉහළ නගින කුඩා කඳුගැට කිහිපයක් තිබෙනවා. නුවරගල, කොටවහෙරගල, මුවන්ගහනගල, දමුනානේ කන්ද, බොරළු කන්ද ඒවා යි.


අද යක්කුරේ

                                                                            අද යක්කුරේ ගමේ පාසල පිහිටා තිබෙන්නේ ඉහළ යක්කුරේ. එය කනිෂ්ඨ විදුහලක්. මෙහි දරුවන් බොහෝ දුෂ්කරතා මැද ඉගෙන ගන්නා බවයි අපට පෙනුණේ. ඒ අසලම පන්සල තිබෙනවා. මෑතක දී ඉදිකළ පන්සලට අවට තිබූ පැරණි විහාරවල නටබුන් ගල්කණු, කොරවක්ගල්, සිරිපතුල් ආදියත් රැගෙනවිත් තිබෙනවා. මේවා අනුරාධපුර යුගයට අයත් නෂ්ටාවශේෂ. නමුත් ඒවා පිහිටි ස්ථානයෙන් ගලවාගෙන පැමිණීම නම් අපට අනුමත කිරීමට අපහසු යි. යක්කුරේ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන යි. එදා කළ හේන් වගාව ස්ථිර බෝග වගාවක් බවට හැරිලා. එළවළු වගාව හා වී ගොවිතැන ඒ අතර වෙනවා. ඉරිඟු, කුරහන්, මෑ, තල, මිරිස් යනාදී ධාන්‍යයන් හා එළවළු ඇතුළු භවබෝග ඔවුන් වගා කරනවා. යක්කුරේ සියලු පවුල් සංඛ්‍යාව 400ක් පමණ වෙනවා. මෙහි ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වුව ද රජයේ රැකියාවල නිරතවන අතළොස්සක් ද  සිටිනවා.
                                                  ගව සම්පත ගැමියන්ට ප්‍රධාන ආර්ථික මාර්ගයක්. එහෙත්, ප්‍රධානතම ගැටළුව වන්නේ ගවයන්ට තණ කැවීමට භූමියක් නැතිවීම යි.එළවළු වගාවටත්, වී වගාවටත් ඉඩ කඩ වෙන්වූ විට සතුන් සඳහා ඉඩක් ගමේ නැහැ. ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ගම්මානය අද්දරින් පිහිටා තිබුණත් ඒ රක්ෂිතයට ඇතුළු වීම ද තහනම්.

 

 

යක්කුරේ වැද්දෝ

 



                                                              වර්ෂ 1900 වනවිටත් යක්කුරේ වැදි ගම්මානයක්. සෙලිග්මාන් යුවලගේ වැද්දෝ පොතේ සඳහන් අයුරින් එසමයේ දිඹුලාගල සිටම වැදි ගම්මාන තිබුණා. මේ සෙලිග්මාන් යුවල යක්කුරේ ගැන සඳහන් කරන අන්දම යි.
යක්කුරේ වැදි ගම්මානය කළුකැලෑඑබ සිට සැතපුම් හයක් දුරින් පිහිටා තිබේ. එහි ජීවත්වන්නන් තමන් හඳුන්වා ගන්නේ වැද්දන් යනුවෙනි. ඔවුන් සිංහල දෙමළ මිශ්‍ර ජන කොටසකි. කළුකැලෑඑබ වැදිගම හා සසඳන විට යක්කුරේ මිනිසුන් තුළ වැදි ලේ විතරක් ඇතැයි අපට නොපෙනේ. එගම මැටියෙන් තැනූ නිවාස 40කින් යුක්තය. ගම පුරාම හරක් රංචු වශයෙන් සැරිසරති. ඔවුන් වැද්දන් යයි කියාගත්තත් වන්දනා කරන්නේ සිංහල දෙවියන්ටය”.
එකල යක්කුරේ ජීවත්වී ඇත්තේ නාමඩව, ඇඹලා, බැන්දිය යන වැදි වරිග බව සෙලිග්මාන් යුවල සඳහන් කරනවා.

 

 

කාලිංග නුවර



                                                             මහවැලි නදිය ගල්පර සහිත මාර්ගය නිමා කරමින් තැනිතලාවකට පැමිණ පළලින් වැඩි වී ගැලීම අරඹන්නේ කාලිංග නුවර නම් දූපත අසලින්. මහවැලි ගඟේ පිහිටා ඇති කාලිංග දූපතට ගමේ සිට කි. මී. 8ක් පමණ දුර යි. වනාන්තර ආශ්‍රිතව ගලායන ගඟ දිගේ ගමන් කර දූපතට ළඟාවිය යුතු යි. කිලෝමීටර එකහමාරක් පමණ දිගින් යුක්ත දූපත පළලින් අඩු යි. එය පළලින් වැඩිම තැන කි. මී. බාගයක් පමණ වෙනවා. දූපත වර්ග කි. මී. 3.8ක් විශාල යි. මෙහි නෂ්ටාවශේෂ අතර ගල්කුලුනු, ගඩොල්, ගොඩනැගිලි පාදම්, පෙත්මං ආදියත් දැකගත හැකියි. එය පොළොන්නරු යුගයේ භික්ෂු උපසම්පදාව කළ ස්ථානයක් විය හැකි බවට අනුමාන කරනවා.
                                               මේ දූපත ආශ්‍රිතව හා මාලගමුව වැව ආශ්‍රිත ප්‍රදේශවල 2009 දී සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී මෙතෙක්‌ අනාවරණය වී නොමැති ඉපැරැණි බුදුපිළිම දෙකක්‌ සහ බිසෝකොටු දෙකක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම බුදු පිළිම දෙක පොළොන්නරුව ගල්විහාරයේ පිළිමවලට සමාන කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කර ඇති අතර ගල් තලාවක නෙළා තිබෙනවා.

 

ගෝමතී ඇළ

                                                           මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් නැගෙනහිර දෙසට යොමු වන මෙම ඇල දිඹුලාගල පර්වතය දක්වා සැතපුම් 21 දුරට හඳුනාගෙන තිබෙනවා. දිඹුලාගල සහ කාලිංග දූපත අතර කෙලින් දුර සැතපුම් 11 පමණ වෙනවා. එම දුර මෙන් දෙගුණයක පමණ දුරක් ඇළ ගමන් කරන්නේ එය සමෝච්ච රේඛාවක් දිගේ වංගු ගසමින් ගමන් කරන නිසයි. ගෝමතී ඇලේ ඇළ කණ්ඩිය එතරම් උස නැහැ. එය බොහෝවිට අඩි 8ට වඩා අඩු බව බ්‍රොහියර් සඳහන් කරනවා. ඇලේ පළල ඇතැම් ස්ථානවලදි අඩි 70 පමණ වෙනවා. අමුණේ සිට සැතපුම් 4.5ක් පමණ දුර ගිය පසු ඇළ යක්කුරේ වැව අසලින් ගමන් කරනවා. අද දක්නට ලැබෙන්නේ ජලයෙන් තොර නටබුන් ඇළ මාර්ගයක්. වර්තමානය වන විට අතහැර දැමූ වැවක් වන යක්කුරේ වැව පෙරකල ගෝමති ඇළේ ජලයෙන් පෝෂණය වන්නට ඇති.

 

පුරාණ කාලිංග ඇළ

                                                                     කාලිංග දූපතට නුදුරින් අමුණේ වම් ඉවුරින් පටන් ගන්නා ඇළ මාර්ගයට කාලිංග ඇළ යයි ව්‍යවහාර වනමුත් එය පැරණි අචිරවතී ඇළ විය හැකි බව සමහරු පවසනවා. මෙම ඇළ කාලිංග අමුණේ සිට පිටකින්ද ඇළ හරහා යන තෙක් සැතපුම් ¾ක්  පමණ හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු මද දුරක් යනතෙක් එහි සලකුණු වර්තමානයේ හඳුනාගත නොහැකියි. නැවතත් එය හමුවන්නේ අමුණේ සිට සැතපුම් 2.5 පමණ ගිය පසුවයි. එතැන් සිට සැතපුම් 7.5 පමණ දුරට එහි නටබුන් හමුවෙනවා.
                                    මෙය ගැන කදිම විස්තරයක් ආර්. එල්. බ්‍රෝහියර් ලක්දිව පුරාතන වාරිමාර්ග පොතේ සඳහන් කරනවා.එක් මතයක් වන්නේ කාලිංග අමුණෙන් හරවන මහවැලි ගඟේ ජලය සහ ඇතැම් විට අඹන් ගඟේ ජලය ද ජල හිඟ ප්‍රදේශයක් වන කවුඩුල්ල දෙසට ගෙන ගිය බව ය.


මූලාශ්‍රය : Roar.media

Friday, March 30, 2018

Kithulgala Tour (කිතුල්ගල චාරිකාව)



                 






                             කිතුල්ගල කිව්වම හැමෝටම සිහියට නැගෙන්නෙ රාෆ්ටින්. දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇල්ම බැල්ම කිතුල්ගල සොරාගන්නෙ ඒ හින්දා. ඒත් රාෆ්ටින් විතරක් නෙමෙයි. කිතුල්ගල අවට බොහෝ දෙනෙක් නොදන්නා අප්‍රකට වැදගත් සොඳුරු සිරි බොහෝ තියෙනවා. නිවාඩු පාඩු වෙලාවක නම් මේ ටික දැනගන්න එක ඔබට වැදගත් වෙයි.

වයිට් වෝටර් රාෆ්ටින්

                            කිතුල්ගලට දෙස් විදෙස් සංචාරකයෝ වැඩිපුරම ආකර්ෂණය වන්නේ රාෆ්ටින් ක්‍රීඩාව නිසයි. 1990 දශකයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විසින් රාෆ්ටින් ක්‍රීඩාව සඳහා සුදුසුම ස්ථානයක් බවට කිතුල්ගල ආශ්‍රිත කැලණි ගඟේ මෙම කොටස හඳුන්වා දීමේන් අනතුරුව වේගයෙන් මෙම ත්‍රාසජනක අත්දැකීම සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් වුණා.මෙහි ඇති සුවිශේෂිත්වය නම් ලෝකයේ මෙවැනි ස්වාභාවික පිහිටීම් ඉතා විරල වීමයි. කි.මී. පහමාරක් පමණ පුරා රාෆ්ටින් ක්‍රීඩාවේ නිරත විය හැකි ආකාරයට කැලණි ගගේ මෙම කොටස නිර්මිත වෙනවා. මෙම දුර ප්‍රමාණය තුළ සෑම ගංගා බැස්මකදීම ජලය නිසලව ගමන්ගන්නා කොටසකට ප්‍රවිශ්ට වනවා. මෙය රාෆ්ටින් ක්‍රීඩාව සඳහා සුදුසුම පිහිටීමක්. මෙවැනි බැස්මවල් හතකට වැඩි ප්‍රමාණයක් මෙම කොටස තුළ ආවරණය වෙනවා. විනාඩි 45 ක සිට පැය එක හමාරක් දක්වා කාලයක් තුළ සංචාරකයන්ට මෙම අත්දැකීම විඳගන්න කාලය හිමිවෙනවා.
රාෆ්ටින් ක්‍රීඩාවේ නිරතවන්නට සුදුසුම කාලය වන්නේ මැයි මාසයේ ඉඳලා දෙසැම්බර් දක්වා. මේ සඳහා පහසුකම් සපයන ආයතන කිතුල්ගල අවට සොයා ගැනීමට ඉතා පහසුයි.

බෙලිලෙන

                           අදින් වසර තිස්දහසකට එපිට අතීතයකට හිමිකම්  කියන බෙලිලෙන ප්‍රාග් ඵෙතිහාසික යුගය සම්බන්ධව ප්‍රබල සාක්ෂි සපයන පුරාවිද්‍යාත්මක ස්ථානයක්. මධ්‍ය ශිලා යුගයට අයත් ආදී මානවයන් (බලංගොඩ මානවයා) තිස් දෙනෙකුගේ පමණ අස්ථි කොටස් හමුව ඇති බෙලි ලෙන පරිශ්‍රයේ ඔවුන් භාවිතා කළා යැයි සැලකෙන සරල මෙවලම්, ආයුධ, පබළු වැනි දෑ කැණීම් කටයුතු මගින් මතු කොට ගෙන තියෙනවා. ආදී මානවයන් ආහාරයට ගත් බෙල්ලන්ගේ කටු විශාල වශයෙන් හමුවූ නිසා බෙලි ලෙන යනුවෙන් මෙයට නම හිමිවනවා.1983 වර්ෂයේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් සංරක්ෂිත මෙම ලෙන තුළ ප්‍රධාන කුටියක් සහ තවත් කුඩා කුටියක් දක්නට ලැබෙනවා. ආදී මානවයන්ගෙන් පසු කාලීනව කිසියම් රජ සමයක මෙය බෞද්ධ ආගමික ස්ථානයක් ලෙස භාවිතා කරන්ට ඇති බවට වූ සලකුණු තවමත් දක්නට හැකියි. ප්‍රධාන කුටියට ප්‍රවිශ්ට වන විට ඇති වාහල්කඩ දියුණු ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ඉඟියක් සපයන අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩවිසූ ස්ථානයක් ලෙසටද ප්‍රකට වෙනවා.
බෙලි ලෙන අවට කුඩා දිය ඇල්ල සොබා දහමේ අපූර්ව නිමැවුමක්. දෙවන ලෙන සිට ඉදිරිපස බැලූ විට පෙනෙන දර්ශනය ඉතිහාසයේ නිහඬ යුගයකට ඔබව ගෙන යනු නිසැකයි.
කිතුල්ගල නගරයේ සිට කී.මි 1/2 පමණ හැටන් පාරේ ඉදිරියට යන විට බෙලි ලෙනට පිවිසෙන මහබාගේ මාර්ගය හමුවේ. එම මාර්ගයේ තවත් කී.මී 4 ක් පමණ ඇතුලට ගමන් ගන්නා විට  හමුවන ඉංඔය දෙමළ විදුහල අසලින් කී.මී 1/2 පමණ ගිය විට බෙලි ‍‍ලෙනට පිවිසිය හැකිය.

ක්වායි ගඟේ පාලම



                          ප්‍රංශ ජාතික පියරේ බෝල් විසින් රචිත නවකතාවක් ඇසුරින් හොලිවුඩයේ සම්මානනීය අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කළ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ සුවිශේෂි සිනමා සිත්තමක්. 1958 වසරේ ඇකඩමි සම්මාන හතකට හා ඉන් අනතුරුව ජාත්‍යන්තර සම්මාන රැසකට  හිමිකම් කියු මෙම චිත්‍රපටයේ දර්ශන පසුබිම වන්නේ  කිතුල්ගල කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශයයි.
දෙවන ලෝක යුද්ධ සමයේ දී නැගෙනහිර හා ගිණිකොන ආසියාවේ රටවල් කිහිපයක් ජපන් අධිරාජ්‍ය විසින් යටත්කොටගෙන තිබුණා. මේ රටවල් වල බ්‍රිතාන්‍ය විසින් පාලනය කළ කොලනිද පැවතුනා. මේ දෙපාර්ශවය බොහෝ විට ගැටුම්වල නිරත වූ අතර බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් ජපානයේ සිරකරුවන් බවට ද පත්වුණා. මෙම චිත්‍රපටයට අනුව එලෙස ජපානයේ යටත් විජිතයක් වූ තායිලන්තයේ ක්වායි ගඟ ආශ්‍රිතව ජපනුන් විසින් පවත්වාගෙන ගිය සිර කඳවුරක සිටි බ්‍රිතාන්‍ය සිරකරුවන් ලවා පාලමක් හා දුම්රිය මාර්ගයක් නිර්මාණය කර වීමේ කතා පුවතකි.කැලණි ගඟ ආශ්‍රය කොටගනිමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය සඳහා එකල ඇමරිකානු ඩොලර් මිලියන තුනක්  පමණ වැය කොට තිබූ අතර පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා එකල කිතුල්ගල ජනතාව ද දෛනික වැටුපට සේවා සපයා ඇත. දැව දඬු කොන්ක්‍රීට් යකඩ ආදිය යොදා නිර්මාණය කළ දැවැන්ත පාලම සිනමා තිරයේ දී පුපුරා යන්නේ විනාඩියකටත් අඩු කාලයකිනි.
පසුගිය වකවානුවේ  මෙම පාලම නැවත ඉදිකිරීම පිළිබඳ සලකා බැලීමක් ද සිදුකෙරිණි. ඉතිරිව ඇති  නෂ්ඨාවශේෂ දැකබලා ගැනීම සඳහා අදටත් සංචාරකයෝ ඇදී එති.

ඕලු ඇල්ල

                          කිතුල්ගල පහුකරලා යටියන්තොටින් මලල්පොළ හරහා සීපොත් පාරේ යනකොට මුණගැහෙන ඕලු ඇල්ල ලංකාවේ දිය ඇලි අතර උසින් පස්වන ස්ථානය හිමිකර ගන්නවා. මේ නිසල දියදහර සුවිශේෂි වන්නේ කුඩා ජල දහරා කිහිපයක් එක්වූ සොඳුරු නිර්මාණයක් නිසා. වී ඔයේ අතු ශාඛාවකින් නිර්මාණය වන ඕලු ඇල්ලේ පළල අඩි 60 ක්. උස මීටර් 200ක්. මේ දිය ඇල්ල මාල කිහිපයකින් සමන්විත වනවා.  සංචාරකයන්ට මාර්ගයේ සිට ඇල්ලේ සම්පූර්ණ දර්ශනයක් නරඹන්නට හැකිවන්නෙ නැහැ.
ඇල්ල ඉදිරිපිට සිල්පර ලී පාලම මතින් වාහනයක් ධාවනය කිරීම ඔබට අපූරු අත්දැකීමක් වනු ඇත්තෙ ඉන් නැගෙන ශබ්දය අවට පරිසරයේ නිහඬතාවය බිඳින හින්දා. මේ ලී පාලම ලංකාවේ තිබෙන පැරණිතම ලී පාලම්වලින් එකක්.
ඕලු ඇල්ලෙන් කිලෝමීටරයක් විතර ආපස්සට ඇවිත් වේවැල්තලාව ගොඩවදින්නටත් ඔබට පුළුවන්. වේවැල්තලාව කියන්නෙ ලංකාවේ වර්ෂාපතනය වැඩිම ස්ථානයන්ගෙන් එකක් වගේම මෙහි සීතල දේශගුණය හා පාරසරික චමත්කාරය නුවරඑළිය සිහිපත්කරනවා. මේ මාර්ගය අති සුන්දර වගේම බොහෝ දුෂ්කරයි. මේ පැත්තෙ සංචරණයට එනවා නම් පෙර සූදානම වඩා වැදගත්.
 
මාකන්දාව රක්ෂිතය

                          සොබා දහමට ආදරය කරන ඔබට ජෛව විවිධත්වයෙන් අනූන මාකන්දාව වන පෙතට පිවිසිමට හේතු රාශියක් සොබා දහම විසින්ම නිර්මාණය කරලා තියෙනවා. ලෝකෙටම එකයි වර්ගයේ තුරුලතා කිහිපයකට හා වන සතුන් රාශියකට මාකන්දාව රක්ෂිතය නිවහනක්. ලංකාවේ පැරණිතම රක්ෂිත වනාන්තරයක් වන මාකන්දාව පහත රට තෙත් නිවර්තන ද්විතීක වනාන්තර වැස්මක් සහිත කැලණි ගගේ පෝෂක වනාන්තරයක්.
රතුදත්ත පොතට අනුව වඳවී යාමේ අධි අවදානමට ලක්ව ඇති හොර ශාක කුලයේ වර්ගයක් වූ Balanocarpus kitulgallensis නම් ශාකය පිහිටා ඇත්තේ මෙම රක්ෂිතය තුළය. ලෝකයෙන්ම එම වර්ගයේ ශාක කිහිපයක් ඇත්තෙ මෙහි පමණි. ලංකාවට ආවේණික දුර්ලභ උඩවැඩියා වර්ග විශේෂ කිහිපයක් මෙම රක්ෂිතයෙන් හමුවේ.  ලංකාවෙන් වාර්තා වන එකම ජලජ උඩවැඩියා විශේෂය ද වාර්තා වන්නේ මාකන්දාවෙන්. මීට අමතරව පිළිල ශාක විශේෂයක්  හා ලංකාවට ආවේණික දුර්ලභ කූඩළු වර්ගයක් වන ගල්දෙමට ද මෙහි දී හමුවනවා. එවැනි සුවිශේෂි ශාක තවත් බොහෝමයක් මාකන්දාවට අයිති වෙනවා.
එමෙන්ම ඉහළ කඳුකරයේ හැර ලංකාවට ආවේණික සියළුම පක්ෂි විශේෂ ද මාකන්දාවේ දී මුණගැසේ. ලෝකයේ කුරුළු නිරීක්ෂකයන්ගේ අප්‍රසිද්ධ නවාතැනක් වන්නේ ද මාකන්දාවයි. මේ අතර ලංකාවට ආවේණික හිස සුදු මයිනා, බට ඇටි කුකුළා, හිස අළු දෙමලිච්චා, ලෙග්ගේ පිළල සූටික්කා හා නේවාසික පක්ෂියෙකු වන දුම්කවුළුවා සුවිශේෂී වනවා. 2004 වසරේ දී හඳුන්වා දුන් පඬුවන් බස්සා මුල්වරට නිරීක්ෂණය කර තිබුණේ ද මාකන්දාවෙන්.
ලෝකයෙන්ම වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති අසෝක පෙතියා ඇතුළු පුල්ලි අහිරාවා, ලේ තිත්තයා, හල්මල් දණ්ඩියා, ගල් වැලි ගොව්වා ආදී මත්ස්‍ය විශේෂ ද මාකන්දාවේ දිය පහර ආශ්‍රිතව දැකගන්න පුළුවන්.
මෙහි ජීවත්වන උභය ජීවින් අතර කොටගමගේ කුරු ගෙම්බා, දික්හොඹු ගස් මැඩියා ලංකාවට ආවේණික ඉතා දුර්ලභ ජීවිහු වනවා. එමෙන්ම ආවේණික උරග විශේෂයක් වන මූකලන් තෙලිස්සා ද මෙහි දී දැක ගත හැකියි.
මකුළු ඇල්ල, ලෙනතිරි ඇල්ල ආදී නොකිලිටි ජල දහරා, උඩු වියන් බැදි තුරු පත් මාකන්දාවට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනීවී. කිතුල්ගල තානායම අද්දරින් මාකන්දාව රක්ෂිතයට පිවිසුම් ලැබිය හැකිය.
ඉතින් ඔබට පුළුවන් සූදානම් වෙලා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කිතුල්ගල අවට මේ චමත්කාරයන් නරඹන්න එන්න. 

             කොහොම වුණත් මේ සොබා දහමේ පාරාදීසයන් කිලිටි නොකර ආපසු යෑම ඔබේ යුතුකමක්.

මූලාශ්‍ර – roar.media