Thursday, March 1, 2018

Jathika Namal Uyana (ජාතික නාමල් උයන)








                                              දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බව ඔබ දන්නවාද? ඒ ලොවට අමිල උරුමයක් වූ ජාතික නාමල් උයනයි.
අක්කර 260ක් පුරා විහිදී ඇති නා ගස් ගහණයත්, අක්කර 105ක භූමි ප්‍රමාණයක විහිදී ඇති වසර මිලියන 500ක ඉතිහාසයකට හිමිකම් කියන කඳු වැටි හතකින් සැදුම්ලත් රෝස තිරුවානා කඳු පන්තියත් හේතුවෙන් ලෝකය පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්ව ඇති ජාතික නාමල් උයනේ සුන්දරත්වය හා ඓතිහාසිකත්වය පිළිබඳවයි අද ලිපිය ලියැවෙන්නේ.

නාමල් උයනට ළඟා වීම

                                               සුවිශේෂ වූ සංරක්ෂිත භූමියක් ලෙස නම් කර තිබෙන ජාතික නාමල් උයනට, ඔබට ලඟා වීමට හැකි වන්නේ කොළඹ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පැමිණ මඩාටුගම හන්දියෙන් ආඩියාගල පාරේ කිලෝමීටර් හතක් පමණ ගමන් කර ගල්කිරියාගම ප්‍රදේශයට පැමිණීමෙනි. මෙම භූමිය අතීතයේ සරුසාර ගොවි බිමක් ලෙස පැවති අතර අක්කර 3000ක් වැනි පුළුල් පරාසයක විහිදී පවතිනවා. නාමල් උයන මහා ඉදිගොල්ලෑ වැව, දිග් අන්නෑව වැව, රණාව වැව, ඉබ්බන්කොටුව වැව හා කලා වැවෙන් වට වී පිහිටා තිබෙනවා. දේවානම් පියතිස්ස රජු සමය දක්වා නාමල් උයනේ ඉතිහාසය දිවෙන බව එහි ඇති එක්ටැම් සෙල්ලිපියෙන් සනාථ වෙනවා.
මිනිස් අභයභූමියක් වීම, ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය හා භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්ෂණ ජාතික නාමල් උයනේ විශේෂතා ලෙස ලියා දැක්විය හැකියි.

ජෛව විවිධත්වය


                                               නාමල් උයනට ඇතුළු වීමත් සමඟම සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක දකින්නට ලැබෙන අතර අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වූ විශාල නා ගස්ද, වසර 1500ක් තරම් පැරණි නා ගස්ද මෙහිදී ඔබට නරඹන්නට පුළුවන්. ප්‍රධාන නා විශේෂ දෙකක් වනය තුළ ඇති අතර ඒවා දිය නා හා බටු නා ලෙස නම් කර තිබෙනවා. නා කැළය මලින් පිරී සුවඳවත්ව තිබෙන ආකාරය නරඹන්නට ඔබට අවැසිනම් අප්‍රේල් හා මැයි මාස වලදී නාමල් උයනට පැමිණිය යුතු වෙනවා.
නාමල් උයනේ ඉදිරියට ඇදෙන විට ඔබට කුඩා ප්‍රමාණයේ දිය ඇලි තුනක් පමණ දකින්නට ලැබෙන අතර එක් දිය ඇල්ලකින් වැටෙන ජලය කැලතී භ්‍රමණය වෙමින් පොළොවට කිදා බසිනු දකින්නට පුළුවන්. එබැවින් එකල පොළොව අභ්‍යන්තරේ ජලය බෙදා හරිම සඳහා වාරි පද්ධතියක් තිබෙන්නට ඇතැයි අනුමාන කරනවා.
මෙම වනය තුළ කලාපීය ශාක 102ක්, කුරුළු විශේෂ 108ක්, පැළෑටි 82ක්, සමනල විශේෂ ගණනාවක්, අලින්, දිවියන් හා විෂ සර්පයන්ද දැක ගන්නට ඔබට පුළුවන්. අගිල්, අක්කපාන, නාගවල්ලී, නවහන්දි හා හිරැස්ස වැනි දුර්ලභ ඖෂධ ශාක හා පැළෑටි වර්ගද නා වනය පුරා පැතිරී තිබෙනවා.

රෝස තිරුවානා කඳු පන්තිය


                                               වනගත තැනිතලාව ක්‍රම ක්‍රමයෙන් පසු කරන ඔබට ඊළගට සිදු වන්නේ උස්ව පිහිටා තිබෙන රෝස තිරුවානා කදු වැටිය තරණය කිරීමයි. කදු වැටිය තරණය කිරීමේදී අවට රෝස තිරුවානා කදු වළල්ලේ මනස්කාන්ත වට පිටාව ඔබගේ නෙතට හසුවෙනවා නොඅනුමානයි.
අතීතයේ මෙන් නොව වර්තමානය වන විට කඳුවැටියේ පැහැය අවපැහැ වී ඇති අතර ඊට හේතු ලෙස නිරන්තර පා ස්පර්ශයත්, මතුපිට ස්ථරය ජීර්ණයට ලක් වී තිබීමත්, දැඩි සුර්ය තාපයට හා ජලයට ඉතා දිගු කාලයක් නිරාවරණය වී තිබීමත් දැක්විය හැකියි. මතුපිට ස්ථරය මෙසේ අවපැහැ වී තිබුණත් අඩි 1-2 අතර ස්ථරය දම් පැහැයෙන් යුක්ත බව සොයාගෙන තිබෙනවා.
තවද කඳු වැටිය මුදුනේ නිර්මාණය කර තිබෙන රෝස වර්ණයෙන් යුත් බුදු පිළිමයද ඔබට දැක ගැනීමට පුළුවන්. මෙම කඳුවැටිය ලුණු කන්දක් සේ පෙනෙන බැවින් ගම්වාසීන් විසින් මෙය හදුන්වන්නේ ලුණුගල් දෙබල ලෙසයි. මෑතකදී කරන ලද කැණීම් වලට අනුව මෙම කදු වැටියේ මැණික් විශේෂ තැන්පත්ව ඇතැයි විශ්වාස කරනු ලබනවා.

නාමල් උයනේ ඓතිහාසිකත්වය

                                               නාමල් උයනේ එක ස්ථානයක දේවානම් පියතිස්ස රජු සමයේ කල ටැම් සෙල්ලිපියක් දකින්නට ඇති අතර එකල වැරදි කරන පුද්ගලයන්ව පුනුරුත්තාපනය කිරීම සඳහා මෙම බිම යොදාගත් බව විශ්වාස කරනවා. එහි එක් පියවරක් ලෙසයි මෙම භූමිය තුළ නා ගස් සිටුවා තිබෙන්නේ.
තිරුවානා කදු මුදුනෙන් පහළ ඇති හෙළ තුළ මිනිස් ක්‍රියාකාරකම් සිදු වී ඇති බවට නටබුන් දිස් වූවත් ඒ ප්‍රදේශයට ළඟා වීම ඉතා අපහසු බැවින් තවමත් එහි තොරතුරු අධ්‍යනය වෙමින් පවතිනවා. තවද ගලින් ඉදිකර ඇති බෝධි ඝරයක්, පිළිම ගෙයක් හා ආවාස ගෙයක් මෙන්ම සඳකඩ පහණක් දකින්නට පුළුවන්. ඒ අනුව මෙහි විහාරයක් තිබු බවත් එම ගොඩනැගිලි දේවානම්පියතිස්ස රජ සමයේත් තුන්වන හා හතර වන දප්පුල රජ සමයේ මෙන්ම කාශ්‍යප රජ සමයේ ඉදිකරන්නට ඇතැයි යන්න අනුමාන කරනවා.
නාමල් උයනට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ ගම්සභා හන්දියේ ඉදිකර තිබෙන සෙල්ලිපිය තුළ ඉන්දියාවේ ටජ්මහල සැදීම සඳහා නාමල් උයනෙන් රෝස තිරුවානා රැගෙන ගිය බව සටහන් වන බව පුරාවිද්‍යාඥයන් පවසනවා.

වත්මන් තත්වය
                                               පුරාවිද්‍යා වැදගත්කමින් අනූන වූ ජාතික නාමල් උයන වර්තමානයේදී දැව ජාවාරම්කරුවන්ගේ මෙන්ම පුරාවිද්‍යා සොරැන්ගේ ඇසට ලක් වී තිබෙන බව සදහන් කරන්නේ කණගාටුවෙන්. නා ශාක සුවද විලවුන් නිෂ්පාදනයට හා තවත් ආර්ථිකමය වාසි සහිත කර්මාන්ත වලට භාවිතා කරන බැවින් මෙම තර්ජනයන්ට ලක් වෙනවා. එසේම මෙහි වත්මන් නියමුවා වන වනවාසී රාහුල හිමියන් ප්‍රදේශවාසීන් සමඟ එක් වී ජාවාරම්කරුවන්ගේ ඇසින් මෙම නා වනය බේරා ගැනීමට කරන කැපවීම අතිමහත් බව කිව යුතුයි.


 මුලාශ්‍ර – www.roar.media


No comments:

Post a Comment