Friday, January 12, 2018

Baddagana-Wetland Park (බැද්දගාන තෙත් බිම් උද්‍යානය)







                                                     කොළඹ නගරයේ ඔබ සිටින්නේ යැයි මෙහි සරන විට කිසිවිටෙකත් නොසිතෙනු ඇත.එය එතරම් ම සුන්දර ය.මෙය බැද්දගාන තෙත් බිම් උද්‍යානය ලෙස නම් කරලා තියෙනවා.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමියට අයත් බිමක මේ උද්‍යානය පිහිටා තියෙනවා.ඒකෙ වපසරිය හෙක්ටාර 18ක්.දියවන්නා ඔය ප්‍රතිසංස්කරණයේදී ඉවත් කල රොන්මඩ මෙම උද්‍යානය පිහිටි බිමට එකල බැහැර කළා කියල තමයි දැනගන්න ලැබුනේ.කොහොම වුනත් දැන් මෙතන අපුර්ව සුන්දරත්වයකින් යුත් ගහකොළ ,පක්ෂීන් ,සමනලුන් පිරි උද්‍යානයක්.මෙහි ශාඛ විශේෂ 100ක් විතර දැකගන්න පුළුවන්.ඒ වගේම ක්ෂීරපායී සත්ව විශේෂ 10ක්,කුරුළු විශේෂ 50ක්,මත්ස්‍ය විශේෂ 20ක් දැකගන්න හැකියාව ලැබෙනවා.මෙහි දක්නට ලැබෙන උභය ජීවී විශේෂ ගණන 5ක්.ඒක දේශික ශාඛ සහ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ සහ සත්ව ප්‍රජාවන් රැසක් මෙහි දකින්නට ලැබීම විශේෂත්වයක්.මේ උද්‍යානය පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා විවෘතයි.පස්වරු 5.30න් පසුව ප්‍රවේශපත්‍ර නිකුත්කරන්නේ නෑ කියල තමයි දැනගන්න ලැබුනේ.ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 100ක්.වාහන නැවතුම් පලක් තියෙනවා..ඊට ඉතා සුළු මුදලක් අයකරන්නේ.මේ උද්‍යානයේ මාදං,වෙරළු වගේ රසවත් පලතුරු ගසුත් තියෙනවා හොදේ..

මේ උද්‍යානය පාලනය වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ.ඔවුන් මෙම උද්‍යානය ගැන කියන්නේ මේ වගේ දෙයක්.

"" බැද්දගාන තෙත්බිම ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි අධි නාගරීකරණය වූ පරිසරයක , නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි තෙත්බිමකි. සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය මායිමට ද ඇතුළත්වේ.

හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපය තෙත් කලාපීය පහත් බිමක දක්නට ලැබෙන දේශීය කුරුළු විශේෂ, සුන්දර සමනලුන් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන් සපයයි. එපමණක් නොව පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසක් සුන්දර පරිසරයක් නිර්මාණය කර ඇති මේ බිම සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේ ද ආගමනය ලබන කුරුළු තොටකි. අතීතයේ පටන් පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන මෙම පරිසර පද්ධතිය පිළිබඳ වාර්තා රැසක් මෙයට සාක්‍ෂි සපයයි.

නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරික කලාපයන් ලෙසින් මිනිසාගේ නිරෝගී දිවි පැවැත්ම සඳහා උපකාර වන අතරම විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි බව හඳුනා ගෙන ඇත. එම අදහස ද පෙරදැරි කරගෙන බස්නාහිර පළාත් තෙත්බිම් කලාපීකරණය යටතේ සකසන ලද උපදෙස් මාලාව අනුගමනය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේදී නව පාර්ලිමේන්තුව වටා ඇති අධිකාරිය සතු තර්ජනයට ලක්වූ තෙත්බිම් 11ක් සංරක්‍ෂණය කිරීමට සැලසුම් කරන ලදි.

එහි ප්‍රථම පියවර වශයෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණය වන අතර, දෙවන අදියර ලෙස කෝට්ටේ කොටු බැම්ම තෙත්බිම් උද්‍යානය ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිතය.
බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින් එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර, උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීම සහ පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමයි.

මෙම උද්‍යානයේ සියලු සැලසුම් නිර්මාණය වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Landscape Architect) සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Architect) විසිනි. පරිසරවේදීන්ගේ හා පරිසර විද්‍යාඥයන්ගේ නිරීක්‍ෂණ හා උපදෙස් මත මෙහි සංවර්ධනය ක්‍රියාත්මක වන ලදි.

උද්‍යානය ගොඩනැඟීමේ විශේෂත්වය වනුයේ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව , කණු මත ඉදිවුණු පක්‍ෂි ,නිරීක්‍ෂණ කුළුණු, ගමන් පථ, පක්‍ෂි නිරීක්‍ෂණ ස්ථාන ගොඩනැඟීමයි. එමඟින් තෙත්බිම් පරිසරය මනාව සංරක්‍ෂණය කර ඇති අතර, ඉතා සුන්දර උද්‍යානයක් නිර්මාණය වී ඇත.

මෙම ව්‍යාපෘතියට සමගාමීව කෝට්ටේ රාජධානියේ ඉතිරි වූ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත් (Architectural Trails) ඉදිකර ඇති අතර, උද්‍යාන සම්බන්ධක මංතීරු (Park Connections) මඟින් බැද්දගාන තෙත්බිම් උද්‍යානය අවට ඇති සෙසු උයන් හා සම්බන්ධ වනු ඇත. එමඟින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවනතාවක් ඇති කරමින් පහරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් (Eco Tourism) ආරම්භ කිරීමට අපේක්‍ෂිතය.

බැද්දගාන ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම තෙත්බිම සුරැකීමේ පරිසර කවයක් ඇති කිරීමටත්, ඒ සඳහා අවට පාසැල්, විහාරස්ථාන හා පරිසර විද්‍යාඥයන්ගේ සහභාගීත්වය ලබා ගැනීමටත් බලාපොරොත්තු වේ. එමඟින් අවට ප්‍රජාව තුළ උද්‍යානය පිළිබඳ නව ආකල්පමය වෙනසක් ඇතිවනු ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වය යටතේ අදාළ ආයතන වල සහභාගීත්වයෙන් හා පරිසර විද්‍යාඥයන්ගේ එකමුතුවෙන් සෑදුනු කමිටුවක් විසින් මෙම උද්‍යානය පාලනය වනු ඇත.
විද්‍යාත්මක ගවේශකයෙකුට මෙන්ම පරිසර සුන්දරත්වය විඳින්නන් හට බැද්දගාන තෙත්බිම් උද්‍යානය වටිනා තෝතැන්නකි. මෙම උද්‍යානයේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම අතර,
• නවකයින්, පාසැල් සිසුන් සඳහා වන සත්ත්ව හා ශාක නිරීක්‍ෂණ වැඩමුළු
• වනජීවී ‍ඡායාරූපකරණ හා චිත්‍ර වැඩමුළු
• ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන තෙත්බිම් අධ්‍යයන සහ සත්ත්ව අධ්‍යයන වැඩමුළු විශේෂ වේ.
බැද්දගාන තෙත්බිම් උද්‍යානය අනාගත ගෝලීය ,පාරිසරික හා දේශගුණික වෙනස්වීම් සඳහා අවැසි හරිත පරිසර නාගරික ප්‍රදේශ තුළ ශක්තිමත් කිරීමේ සහ තෙත්බිම් පරිසරය ආරක්‍ෂා කරමින් එය තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි බව සනාථ කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙන්ම, නාගරික ජල ගැල්ම පාලනය කළ හැකි ව්‍යාපෘතියක් ලෙසද වැදගත් වනු නොඅනුමානය. ""

  වෙබ් අඩවිය -http://www.beddaganawetlandpark.com/ 

  ලිපිනය -Beddagna Wetland Park
  139 Rampart Rd, Sri Jayawardenepura Kotte, Sri Lanka

  දුරකථන - 0112875916-20

  විද්‍යුත් ලිපිනය - beddaganawetlandpark@gmail.com

No comments:

Post a Comment